Sunday 3 April 2011


" ඉර හඳ යට" අපට දැනෙන හැටි


ක්ෂේත්‍රය යුද්ධය වුවද ඒ තුළ වපුරාලූයේ මිනිසුන්ගේ දුක හා සතුටය. මනුෂ්‍යත්වය මේ සියල්ල එයට එකතු කලේය. ජීවිතය අත්විදින්නටත් විඳවන්නටත් මෙහි සිටින සියළු පාත්‍ර වර්ගයාට සිදුවුනි . ඒ සියල්ල අප බලා සිටියෙමු. නිර්මානය සාර්ථක විය. සිදුවූ සියල්ල අභව්‍ය හෝ රොමැන්ටික් ගනයේ හෝ නොවුනි. මේ සියල්ල අප ජීවත්වන මේ ඉරහඳ යට යම් දවසක කොතනක හෝ සිදුවී ඇත. එබැවින් සියල්ල ජීවමානය.
ශෂිකලා පුංචිහේවා විසිනි

බෙනට් රත්නායකගේ සිනමා නිර්මානයක් වූ " ඉරහඳ” යට චිත්‍ර පටිය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ එක් කඩඉමක් වූවා යැයි සිතිය හැක.යුගයේ කාලීන අවශ්‍යතාවයනට අනුගත ලෙස සැකසුනු මෙම චිත්‍රපටිය චිත්‍රපට ක්ෂේත්‍රයේ කලාත්මක චිත්‍රපටයක් ලෙස සංකේතවත් වු බව හැඳින්විය හැක.සිදුවීම් දාමය ඉතා සරලය, එහෙත් මානුෂික හැගීම් සංකීර්ණය. වරෙක බිහිසුනුය. වරෙක සෞන්දර්යාත්මකය. ප්‍රේක්ෂකයාගේ මනසට කථා කිරීමට තරම් සියුම් රූපරාමු පෙලක් තෝරා ගැනීමත් අති විශිෂ්ඨය. බෙනට් රත්නායකගේ අදහස මුබ්‍ය පරමාර්ථය වුයේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය කොතරම් බිහිසුනුද නියා පෙන්වීමද? නැතහොත් සමාජ අනුකලනයට කොතරම් බල පාන්නේද යන්න සොයා බැල්මත් වූවා යයි එක වර සිතා ගත නොහැක.අපි කථා කරමු " ඉර හඳ යට” අපට දැනෙන විදිය.

චිත්‍ර පටිය පුරාම යුද්ධයේ බිහිසුනු බව සංකේතවත් විය. මුල් භාගයේ සිදුවීම් සියල්ල ත්‍රාසජනක ලෙස නිර්මාණය විය. එහෙත් දෙපාර්ශවයන් අතර සිදුවූ හැගීම් හුවමාරුව විටක මානූෂීය බවක් දැක්වුවද වරෙක ඒවා හුදෙක්ම ජුගුප්සාජනකය. යුද්ධය යනු මානුෂීය හැඟීම් බිඳ වැටීමක උත්සන්න අවස්ථාවක් යයි අසා තිබුනද මට සිතුනේ මානුෂිය හැඟීම් දනවූයේ , යුද්ධය ආරම්භය තෙක් අවසානය දක්වා යයි කිව හැක. ඔවුන් තුළ වූ මනෝ ඝට්ඨනයන් , කෙතරම් ප්‍රබල වූවාද යන්න හැඟෙන්නේ යුද්ධයේ අරමුණට ලඟා වීමට තම වර්ගයා වුවද මර්ධනය කිරීමට තරම් අමානූෂීය වීමයි. අනෙක අන්තර්ජාතික ළමා ප්‍රඥාප්තියට පටහැනි වූ ළමයින් යුද්ධයේ යෙදවීම , අධ්‍යාපනයට ඇති අයිතිය උදුරා ගැනීම , සමාජීය වශයෙන් සිදුකරන ලද අපරාධයන් යයි හැඟේ. යුද්ධය අප ජන සමාජයට ප්‍රබල ලෙස බලපාන අයුරු දක්වමින් අන්තර්පුද්ගල සම්බන්ධතා බිඳ වැටීම් , පවුල් සංස්ථා පුපුරා යෑම් හරහා කලාත්මකව විග්‍රහ විය. යුද්ධය කෙනෙකුට අවශ්‍ය විය. තව කෙනෙකුට අනවශ්‍ය විය. මනෝ මූලික සමාජයක මානූෂීය හැඟීම් දෝලනය වන්නේ සමාජීය උවමනාවද? මානූෂිය උවමනාවද? යන්නට බෙනට් රත්නායකයන් පැහැදිලිව දුටුවාද යන්න අපට ඉතිරි කර වු ප්‍රශ්නයකි. සියල්ල අවසානයේ සමාජ පර්යාය වෙනස් වී ප්‍රධාන පාත්‍ර වර්ගයා නිර්මාණයෙන් සඟවා තැබුවා යයි මට සිතුනා සේම ඔබට ද සිතෙන්නට ඇත.

"ඉරහඳ යට” චිත්‍රපට නිර්මාණයේ වූ මානව ඝට්ඨනය නිර්මාණයේ ගැටුම් විය. එහෙත් ඒ තුළින් විහිදුනු සෞන්දර්ය මානුෂීය හැඟීම් තුළ වූ අලංකාර මෙම නිර්මාණය වඩාත් සාර්ථක කරන්නක් විය. ප්‍රේමය බොළඳ වුවද යොදාගත් සංඛේත ප්‍රබුද්ධ ඒවා විය. එපැවින් ආදරය කලාත්මකකය. ක්ෂේත්‍රය යුද්ධය වුවද ඒ තුළ වපුරාලූයේ මිනිසුන්ගේ දුක හා සතුටය. මනුෂ්‍යත්වය මේ සියල්ල එයට එකතු කලේය. ජීවිතය අත්විදින්නටත් විඳවන්නටත් මෙහි සිටින සියළු පාත්‍ර වර්ගයාට සිදුවුනි . ඒ සියල්ල අප බලා සිටියෙමු. නිර්මානය සාර්ථක විය. සිදුවූ සියල්ල අභව්‍ය හෝ රොමැන්ටික් ගනයේ හෝ නොවුනි. මේ සියල්ල අප ජීවත්වන මේ ඉරහඳ යට යම් දවසක කොතනක හෝ සිදුවී ඇත. එබැවින් සියල්ල ජීවමානය.

යුද්ධය අවසන් විය. ඒත් සෞන්දර්ය අද කොතනකවත් ඉතිරි වී ඇත් දැයි සොයන්නට සිදුවේ. මනෝ ඝට්ඨනයන් අවසන් වී ඇත්දැයි අප තාම දනිමුද? සිදුවූ සියල්ල මතකයන් පමණි. එබැවින් "ඉරහඳ යට” නැවතත් ඒ සියල්ල මතක් කර දෙන්නට විය.Tell a Friend

No comments:

Post a Comment

Please write your comment .

Note: only a member of this blog may post a comment.