Wednesday 25 December 2013

ඇය ගණිකාවක්ද .......?

              ගණිකාව  .... යන වචනය මා දන්නා විදියට සර්ව නාමයක් ලෙස හැදින්විය හැක.මක් නිසාද යත් පිරිමි ගණිකාවෝ ගැනද අද කතා කරන බැවිනි. එහෙත් වචනයේ අර්ථයෙන්ම මෙය හදුන්වන්නේ කාන්තාවන් ගැන පමණක් වන  අර්ථයෙන් එන වචනයක් ලෙසය. මන්ද...... සැමදා විවේචනයට ලක් වන්නේ කාන්තා ගණිකාවෝ පමණක්ම බැවිනි. ගණිකාව ගැන කතා කරද්දී එක්වරම මනසට එන්නේ කාන්තා රූපයකි. ඒ කියන්නේ අපේ චින්තනයේ රැදී තියෙන්නේ, ගණිකාව කාන්තාවකි යන මතයයි. ඒ වගේම, පිළිකුල් සහගත සිතිවිල්ලකි. කවුරු හරි කිව්වොත් අර යන්නේ ගණිකාවක් කියල, අපි බලන්නේ ඇස් ලොකු කරගෙන. ඒ තරමට වෙනස් හැගීමක් ,නොරුස්සනා ගතියක් එක්වරම මොලයට එන්නේ වචනයේ වරදින්ද මන්දා , 
          සමහර අය කියනවා මේක සමාජ සේවයක් කියල, මොකද දුෂණ, අතවර,සමහර  මානසික රෝග සදහා යම් පාලනයක් මෙමගින් සිදුවනව කියල. තවත් අය කියනවා, මෙමගින් භයානක රෝග හැදෙනවා කියල. මේ දෙකම ඇත්ත. ඒත් ගණිකාව කියන්නේ කවුද කියල අපි කොහොමද හදුන ගන්නේ , ඒ සදහා නිර්වචන තියනවද.....? අපි ගණිකාවෝ කියල හිතාගෙන ඉන්න අය  පාරෙත් ඉන්නවා , ගෙදරත් ඉන්නවා, ඒ කියන්නේ එක් පිරිමියෙකුට වඩා ආශ්‍රය කරන අය, ඒ අයගෙන් සල්ලි ගන්න අය, තමයි, මේ විදියට හදුනාගෙන තියෙන්නේ. ලංකාව තුල ගණිකාව හදුන්වන අවිධිමත් ක්‍රමය තමයි,මේක. මේ තර්කය  හැමෝටම මේ විදියට සාධාරණය වනවාද කියන එක දැන්නම් ගැටළුවක්, මේ විදියට බැලුවම ලංකාවෙන් සියයට අනුවක්ම, මේ ඝනයට වැටෙන්නේ ඉබේම. තමන්ගේ අම්මා, සහෝදරිය, දියණිය, මිණිපිරිය මේ සියළු චරිත මේ තර්කනයට ඇතුලත් වෙලා දන්නෙම නැතුව. මේ තුල තිබුනාවූ මානුෂික හැගීම් ඉවත් වෙලා, ගැහැණිය රොබෝවරුන්ගේ හා පිරිමින්ගේ අතකොලු බවට පත්වීමේ වැඩි ප්‍රවනතාවයක්, මේ රාමුව තුල ගැබ්වෙලා තියෙනවා කියල නම් හිතෙනවා. 
                බටහිර කාන්තාව හා පෙරදිග කාන්තාව වෙනස් වන්නේ, මේ විදියට තියෙන්නාවූ පුරුෂාර්ථ නිසාවෙනි. මිනිසුන් තුල ස්වභාවයෙන්ම තියෙන්නාවූ, ලිංගික කැමැත්ත සදහා පනවන ලද මෙවැනි සීමාකම් නිසා, කාන්තාව, ලංකා සමාජයේ  ගණිකාවක් කර ඇත. යම් සුවිශේෂී වූ හේතුවක් මත කාන්තාව බැබළේ නම්, ඇය ගණිකාවක් වන්නේමය. බටහිර කාන්තාවට මේ ගැටලුව නැත. පවුද්ගලික කාරනා වෙනුවට, ඇයගෙන් රටට ගතහැකි ප්‍රයෝජනය නිසැකවම, තර්කයකින් තොරව ලබා ගැනීමට දියුණු සමාජ පියවර ගෙන ඇත. ලෝක ප්‍රසිද්ධ කාන්තාවෝ ගැන හැදෑරීමේදී, ඔවුන්ගේ චරිතපදනයන් තුල වූ අඩුපාඩු, සැලකිල්ලට ගත් ආකාරයක් මේවායින් දෘශ්‍ය නොවේ. ඒවා විවේචනයටද බදුන් නොවේ. මක් නිසාද යත්, තමන්ටම වෙන්වූ ජිවන රටාවක් කාටත් උරුමවීම හා ඒවායින් අන් අයගේ නිදහසද සිමා නොවීම නිසාවෙනි. සදාචාරය යනු මෙයයි, කැ ගසා හොයන නැතිවෙනවා යයි කියන සදාචාරය ආරක්ෂා කරන්නේ ගණිකාවන් නිර්මාණය කිරීමට නොවේ. ලේබල්වාදී සමාජය මේවා තේරුම් ගත යුතුය. කාටද මෙලෙස ඇගිල්ල දිගු කරන්නේ...? තමන් දෙසටම වක්‍රව, තම පවුල තුලටම බව, සියල්ලෝම මතක තියා ගත යුතුය.  

Sunday 22 December 2013

බලය හා කාන්තාව ....ලංකාව තුල භූමිකාව

                     පුරුෂෝත්තමවාදී රටක කාන්තාව පසුගාමී චරිතයක් විය යුතුද නැද්ද, යන්න තීරණය කරන්නේ කවුරුන්ද යන්න සෙවිය හැකිද? මෙය සිය පවුල තුල සිදුවනවාද? නැතිනම් සමාජය ඇය, මෙහෙයවන ගාමක බලවේගය බවට පත්වෙනවද? යන්න ඔබට දැන් කියන්න පුලුවන්ද? බොහෝ උදාහරණ මේ වනවිට ප්‍රස්තුත වී හමාරය. කාන්තාව කරලියට පැමිණියේ අද ඊයේ නොවේ. ආසියාතික රටක් වූ ලංකාව තුල බලය සදහා කාන්තා ප්‍රගමනය සිදුවුයේ ලෝකයේ පලවෙනි අගමැතිනිය ශ්‍රී ලංකාවෙන්ම බිහිවෙමිනි. ඒ අප දන්නා පරිදි ශිෂ්ඨ සම්පන්න දේශපාලනය තුලිනි.සමාජ අවශ්‍යතාවය මත එය සිදුවිය. එහෙත් අතීතයේ ලංකාවේ රැජිනන් රට කරපු බවටද  ජනප්‍රවාදයේ පවතී. එය උරුමය පිළිබද කතාවකි.එහෙත් ලංකා සමාජයේ මේ වන විට උරුමය හා කරුමය පෙරදැරි කරගෙන පෙරළිකාර චරිත කීපයක් කලඑළි බැසීම හා සමාජ සංශෝධනයන් සිදු කිරීමට සුදානම් වීම, ඒක අතකින් රටක විප්ලවීය අවස්ථාවක ආරම්භය ලෙසද දැකිය හැක. සිතල යුද්ධයක, සටනක් දියත් කරමින් පෙරට එන ශ්‍රී ලාංකීය නවීන කාන්තාවෝ රට කරවීම සදහා. දැන් පිටියට බැස සිටිති. අප මෙහි වරදක් නොදුටුවෙමි.
               ඔවුන්ගේ ආගමනය පිළිබද අපට ගැටළුවක් නැත. ඉන්දියාව වැනි ආසන්න රට වලද මේ හා සමාන ප්‍රබල කාන්තාවෝ බිහිවිය. ජයලලිතා හා පුලාන්දෙවී මේ සටන් වල පෙරටුගාමීන් වුයේ, ස්ත්‍රිත්වයද අමතක කරමිනි. පෙරළිකාර සමාජයේ සිදුවන දේශපාලන පෙරලීම් කෙබදු උවත්, නායකයින් මේවට මුහුණ දිය යුතුය. දේශපාලන ස්ථාවර නිර්නායකයන් ලෝකයේ නැත. ඇත්තේ වෙනස්වීම් පමණි.ක්‍රීඩාව, චිත්‍රපටි, වෙළදාම මේ මොන ක්ෂේත්‍රයේ වුවත්, වැදගත් වන්නේ, චරිත හැසිරෙන ආකාරයයි. පොර පිටියක් නොව, සදාචාරාත්මක ගමනක වෙනසක් දකින්නට සිවිල් වැසියන් කැමතිය. ගැහැනුකම අපහාසාත්මක කරන කෙනාගේ පිරිමිකම් ගැනද සිතිය යුතුය. බියවියුතු නොමැතිනම් කාන්තා බලයද ඉවසිය යුතුය. ස්ව පරමාර්ථ ගැන නොසිතා සියල්ලෝම රට ගැන සිතිය යුතුය. දේශපාලනය වෘත්තියක් නොව සමාජ සේවාවක් බව හැමෝම සිතිය යුතුය. 
               කාන්තාවට සම අයිතීන් නොලැබුනද නිසි තැන ලැබුන නම් ඇති, තරුවක් වනවාට වඩා, පුර්වාදර්ශි චරිතයක් බවට පත්වීම, පුන්යකර්මයකි. තව තවත් කාන්තාවෝ ඉදිරියට ඒම වැඩදායකය. තරගයක් ඔවුන් අතර නැත. ජනතාව බුද්ධිමත් නම් නිසි තීරණය ගනු ඇත. අවශ්‍යතාවය ප්‍රබල වෙද්දී, කවුරුන් ඉදිරියට ආවත්, නායකයින් අප පිළිගත යුතුය. මක් නිසාද යත් කැමැත්ත දුන්නෙත් අපිම නිසා, එසේ නම්, කාන්තා ආගමනය කොතෙක් දුරට බලපානවද යන්න අප ඉදිරියේදී බලමු. තිරෙන් පිටුපස මේ සියල්ලන්ටම වඩා  ප්‍රබල කාන්තාවෝද සිටින බව අමතක නොකරන්න. ඔවුන්ද නිහඩවම රට වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කරයි. බලය ඔවුන් තුලද ඇත. දේශපාලනය යනු රටක් ඉදිරියට ගෙනයන එක් බලවේගයක් පමණි.

Saturday 14 December 2013

කුණු නිසා නගරාධිපතිට ගෙදර යන්න වෙයි.

                 කුණු නිසා ගෙදර යන්න වුන නගරාධිපති කෙනෙක් ගැන කොලොම්බියාවේ බොගෝට අගනුවරින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.බොගෝට අග නගරයේ එකතුවන කුණු නිසි අයුරින් කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතා චෝදනා ලැබූ නගරාධිපති ගුස්ටවෝ පෙට්‍රෝ හට මෙලෙස සිය තනතුර අහිමි විය. එම හේතුවෙන් ඔහුට ඉදිරි වසර 15ක කාලයක් දේශපාලනය කිරීමද තහනම් විය. ලබන වසරේ කොලොම්බියාවේ පැවැත්වෙන ජනාධිපතිවරනයටද ඔහු සාභාගී වීමට තිබියදී, මෙලෙස කටයුතු සිදුවිය.
                කොලොම්බියාවේ තත්වය මෙසේය.ජනතා විරෝධයට එරට පාලකයන් හිස නමයි. තමන්ට කරන්න බැරි නම් ඒ බව තේරුම් ගනියි. එය අප අගය කල යුතු ක්‍රියාවකි.තනතුරක වගකීම් දරන්නට බැරිනම් , හැකි කෙනෙකුට එම තනතුර ලබාදීම රටට කරන සෙතකි. තුන්වන ලෝකයේ රටක් වන කොලොම්බියාව සිය ඉදිරි ගමන මෙලෙස හැඩ ගන්වා ගැනීම, සෙසු රටවල් වලටද ආදර්ශයකි. බල ලෝභය නොතකා, රටක් ලෙස ජනතා මතයට ගරු කිරීම ප්‍රශංසනීයය.

අපහරණය හා අඩහැරය .......

          සෝමාලියාව ගැන ඇසු පමණින් අපට මතකයට නැගෙන්නේ මන්දපෝෂණයෙන් පෙලෙන බඩවල් එල්ලා වැටෙන කෙසග සිරුරු ඇති , පිඩනයට ලක්වූ තවත් මනුෂ්‍ය කොට්ඨාශයකි. ඔවුන්ගේ දුක කවුරුත් දනිති. එහෙත් එලෙස පිඩනයට පත්වූ මේ මිනිසුන්ටම, ස්වභාවධර්මයා එරෙහි වුවා සේම, එරටේ නීතියද පිටුපාන බව මේ සිද්ධිය නිසා අපට ඒත්තු ගැන්වේ.
                පුද්ගලයන් දෙදෙනකු අතින් දුෂණයට ලක්වූ 19 හැවිරිදි තරුණියකට තමාට සිදුවූ  අසාධාරණයට සධාරණය සොයන්න අධිකරණයට ගොස් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න සංකල්පයට යටත් වන්නට සිදුවූ බව මේ පුවතින් අපට වාර්තා විය. ඇගේ අසාධාරණය සදහා ඇයට ලැබුන තෑග්ග අත් හිටවූ සිර දඩුවම්ය. චුදිතයන් දෙදෙනාට අපහාස කලාට හා බොරු කීවාට මෙලෙස දඩුවම් ලැබුණි. එම පුවත වාර්තා කල වර්තාකරුටද එම දඩුවම තීරණය විය. එහෙත් වරදකරුවන් දෙදෙනා කිසිදු විටක අධිකරණයට නොපැමිණි බවද වාර්තා වේ. මෙය කැකිල්ලේ නඩු තීන්දුවකි.සෝමාලියාවේ ස්ත්‍රී දුෂණය තදින්ම පවතින රටක් බව, මේ අනුව වාර්තා වේ. 
                   කන්න බොන්න නැතිවනවා වගේම, නිදහසේ ඔවුන්ට ජීවත්වීමේ අයිතියද උදුරාගත් ආකාරයක් , මේ අනුව පෙනේ. ඔවුන්ගේ මානව හිමිකම් ගැන ලෝකයට තවමත් නොපෙනේද.....? 

Sunday 1 December 2013

"හමාස්" සංවිධානයේ ජාත්‍යන්තර වාර්තාකාරිනීගේ සොදුරු අඩහැරය

            සැබවින්ම ඇය සොදුරු රුවැත්තියකි.අඩහැරය ප්‍රබලය. ඕ නමින් ඉශ්‍රා අල් මොදල්ලාල් විය. ඝාසා තීරයේ කුඩා අවදියේ සිටම හැදී වැඩුණු  23 හැවිරිදි වියේ පසුවන ඇය, විවාහක සිවු හැවිරිදි දියණියකගේ මවකි. වසර 5ක් එංගලන්තයේ අද්‍යාපනය ලැබූ ඇය, සිය රටට පැමිණ ඝාසා හි ඉස්ලාමිය විශ්ව විද්‍යාලයෙන් ජනමාද්‍ය පිළිබද අද්‍යාපනය ලබන්නිය. පසුව වර්තාකාරිනියක ලෙස කටයුතු කරන අතරවාරයේම, චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රුපවාහිනී නාලිකාවකට සිය සේවය ලබා දෙන්නීය. ඇය චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරුවන්නිය.ඒ වගේම, මේ වන විට ඇය,වාර්තා රැසකට උරුමකම් කියමින්, ඉතා ලාබාල වියේදීම හමාස් සංවිධානයේ ජාත්‍යන්තර මාද්‍ය ප්‍රකාශිකාව ලෙස පත්වෙමින්,ප්‍රථම වරට කාන්තාවක් ලෙස පත්වී ඉතිහාස ගත විය. 


                පෙරදා , හමාස් සංවිධානයේ මෙවැනි තනතුරු සදහා පත්වෙන්නේ හැඩිදැඩි පව්රුෂයකින් හෙබි, සංවිධානයේම  පිරිමි අයවලුන් වේ. එහෙත් සොදුරුව බලමින් , ජාත්‍යන්තරය හා මුසුවන ඇය,ඝාසා සටන්කාමීන්ගේ සියළු සන්නිවේදන කටයුතු මෙහෙයවමින්, පලස්තීන විමුක්ති ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන්නීය. හමාස් වැනි ත්‍රස්තවාදී සංවිධාන ගැන අසන විටම, මතකයට නැගෙන්නේ මිලේච්ච බව හා කැටිවුණු බිහිසුණු හැගීමය.එහෙත්, හමාස් මේ සියල්ලටම වෙනස්ව යමින්,උග්‍ර ඉස්ලාමිය දැඩි නීතිරීති වෙනුවට, පලස්තීන ජාතීන්ගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් බවට පත්ව සිටි. ලොව ඉහලින්ම සිටින ගරිල්ලා සංවිධානයක් වුවත්, ඔවුන්ගේ අරමුණු වෙනත්, ඉස්ලාමිය සංවිධාන වල අරමුණු වලට වඩා වෙනස් වේ.
          ඇය කාන්තාවක් වීම ඉස්ලාම් ආගමට අනුව , හමාස් සංවිධානය තුල ගැටළුවක් නොවිය. කාන්තාවන් සදහා සියළු අයිතීන් දීපු ජන කොට්ටාශයක් ලෙස හැදින්විය හැක. ඔවුන්ට ඉගෙනීමේ අයිතිය හා තීරණ ගැනීමේ අයිතිය හා පාලනය කිරීමේ අයිතිය හිමිකරදී ඇත. කාන්තාව පිඩාවට පත්නොවුණු එකම සංවිධානය ලෙස හමාස් සංවිධානය වෙත ගව්රවය පුදකළ යුත්තේ, යම් තරමින් හෝ මානුෂිය අයිතීන් වලට ගරු කරන නිසාවෙනි. ඉශ්‍රා මේ සියලුදේට උත්තර දෙමින්, සිය අඩහැරය පාන්නේ ශුද්ධ වූ  කුරානය  ලගට ගනිමිනි. එහෙත් එකම ආගමක ඉගැන්වීම් දෙකක් නැති බව අන්තවාදී මුස්ලිම් සටන්කාමීන් පිළිගත යුතුය.සියල්ලටම පොදු මනුෂ්‍ය දහම, අප අන්‍ය ආගමිකයින් වශයෙන්ද පිළිගත යුතුය. සියළු ශාස්ත්‍රවාදීන් උගන්වා ඇත්තේ ද මෙයමය.